රුස්තෑම්, මගේ රුසියානු මිත්‍රයා



















රුස්තෑම්, පාවෙල් කොර්චාගින් ඉන්න පොත හොයා ගන්න පුලුවන්ද

ඔව් , ඒත් මොනවටද ? ඒව කියෙව්වෙ මගේ පරම්පරාවටත් කලින්. තව දුරටත් ඒව වලංගු නෑ.


හිඳින විට ළඟ- බොහොම ළඟ
සිගරැට් අරන් එන නුඹෙ හුස්ම
මගේ ඇහි බැම් පුරා වදිනවා
ඒ උනත්
ආලෝක වර්ෂයක් කියන්නේ
දුර මනින මිම්මකට රුස්තෑම්

මිනිහෙකුට හුස්ම ඉහලට ගන්න
හීනයක් ඕන බව දන්නවද
අපේ වග වාසගම් තරමටම
නුඹේ නම් පුරුදු කළ පොත් සෙනඟ
සිහිනයක් වගේ ආ
හැබෑවක් කියා අප සිතුවා
අ‍පේ රට සිහිනයෙන් පිරුණා

හෘද ස්ඵන්දනය ‍පේන්නැති
අන්ධකාරය ඉරා දමන්නට
අඬු මිටිය සොයාගෙන - තෘණ භූමි පුරා අප
එක රෑට හදවතින් ඇවිද්දා

අපි එහෙම හදවතින් දුවන කොට
නුඹේ ගෙය පහුවෙන්න ඇති අපට
දශක දෙකකට කලින්
හිටියෙ එහෙ නේද නුඹ රුස්තෑම්

හිම එරෙන කාලයට
පාවෙල්ගෙ දණිස තෙක් හිම පිරෙයි
ඒ උනත් සිසිර කෲරත්වයට
තෘණ මරා දමන්නට ‍නොහැකි වෙයි
මුල් ඇදුණ ‍ප්‍රේමයත්
මුල් ඇදුණ වෛරයත්
විඳල නෑ නේද නුඹ ඒතරම්

පෙම් කරපු අතීතය
අවලංගු කරන්නද කියන්නේ
ම‍හේශාක්‍යයයි අතීතය......
කිසි දි‍නෙක කල් ඉකුත් වෙන්නෙ නැති
හුස්ම එහි තැම්පත්ව තියෙන්නේ

හෙට උදෙත් ‍කෝපි බොන ‍වෙලාවට
පුරුදු විදියටම අපි ළඟින් ඉමු
ඒ උනත්
ආලෝක වර්ෂයක් කියන්නේ
දුර මනින මිම්මකට රුස්තෑම්


පුතාට නේද ? හෑන් ඇන්ඩර්සන් හරි මාක් ට්වෙන් හරි දෙන්නද

නෑ රුස්තෑම්, මට ඕනෙ වානේ පන්නරය

2012


© Subhadra Jayasundara